Friday 28 January 2022

අඳුරු සිත්තම්





පාටක් මොකටද නේක වර්ණයෙන්

කදුළු වලින් ගෑ පාට තියනකොට..

ඇන්ද සිතුවම් ගොඩක්ම එහෙමයි..

සමනල් පාටක් තිබුනෙම නෑ එහි..

අඳුරුයි ගුප්තයි මේවත් සිතුවම්ද?

කවුරු  ඇහුවත් කියාපන් ඉතින්..

ජීවිතේ ලස්සනම සිත්තම්

වර්ණකලේ අපි කඳුළු වලින් වග.... 

Thursday 20 January 2022

මතක කදුළු



හදේ දැවටෙන ඔබේ මතකය
හීන් රිදුමකි තවම නැති වූ
තවම හැමවිට මතක් වන විට
මතකයේ කදුලකට මුල පිරූ

ඔබත් සමගින් ගෙවූ කාලය
නොදැනීම මෙන් ඉක්ම ගොස් ඇත
දැනෙයි එනමුදු අදත් පෙර මෙන්
වෙන්ව ගිය ඔබෙ හාදුවේ රස

එක්ව ගිය මග තනිව යන සද
දැනෙයි ඔබ මා ලග සිටින බව
හැරී බැලූ විට පැමිණි මග දෙස
හැගෙයි එය මගෙ හිතළුවක් බව

නිදි නොමැති හුදකලා මැදියම
විවර කල විට කවුලුවේ තිර
සුළග හා මුසු වී දැනෙයි මට
ඔබේ සුසුමක තිබුණු උණුසුම

හදේ ඉපදෙන සිහිනයක් බදු
ඔබේ මතකය
දෙනෙත් අග කදුලකට මුසු කොට
නොපිහදා ඉමි ගලා යන්නට

Monday 17 January 2022

ඇයත් මවකි



තුරගෙකු මිනිසෙකු යලි පරදද්  දී..
අහර පතා ඈ දෙවියන් යැද් දී..
කදුලු , රුහිරු සිලි හඬට වැහෙද් දී...
තරු අහස යටදි ඈ නම් ලැබ ගත්තී..

හැඬිලි , දෙඩිලි , වැලපිලි වැඩි වෙද්දී
පින පවට පෙරලි තව තව ගල් වදී..
දෙව් විමන් තුරග පිට ලා ගිනි වදී..
දරු දුකට යහන මැද ඈ තනි වුනි..

පෙරලි පෙරලි ඈ උහුලනා දුක්
ගසන හෙන වලට වැඩී...
ඇවිලි ඇවිලි හිත කිපෙන කිපෙන ගත් පහස ඈට බර වැඩී..

පාග පාග දුක වාව වාව හිද ,
පුරන ගින්න දරු පෙමින්..
දකින දකින දන වසන වසන දොර,
මැදි සිතින්ම ඈ අද දකී...

Sunday 16 January 2022

දුගී පැල


අඩුපාඩුකම් සිත පුරා
සතුට උතුරා ගලා
දිවියම අහුරා ගෙනා
දිළිදුකම සිත් වේදනා

රස සවුලු දිව නැති බවත්
වැරහැලි ගත දැත දැවටුනත්
යාන වාහන වීදුරු ගෙවල්
දිළිදු ලොව නැති බවත්

සිතට දැනි දැනි විදින
කටොර දිවිය ඉවසා දරා
තුන් වේල කුස පුරවන්න
අප්පච්චි උසුලන ගින්න
දකින විට නෙත් දෙකට
දුගී පැලත් මහ මන්දිරයක්!

දුක



පතිනි දෙවොලට මලින් පුද 
සුව පැනින් නහවන්නී..
නැතත් අතමිට කිරෙන් පිසු පිඬු 
පිනෙන්  පුද දුන්නී..
සුවඳ විළිකුන් ඵලින් පිරි
 සා කූඩ දන් දුන්නී..
ඕං ඇවිදින් දෙවොල දොරටුව 
සිඹී ඒ ඇත්තී..

"සමාවන් කපුතුමනි මගෙ දරු රෝග වී ඇත්තේ ..
මහිමි එක්තැන් වීය මහ අපලයකි එහෙම ඵල දුන්නේ
ගරා වැටී , එල්ලීය වහලය දිරා ගොස් ඇත්තේ..
වෙලා සරණක් කියන් මෑණිට පිහිට එය වන්නේ.."

අදුර ලා වැහි අන්දකාරෙන් 
පලාතම පිරුනා..
මොනරකොල නැති ඈට පින බර 
දෙවොල් දොර වැසුනා..
කදුලු වියලුනු නෙතු පරය වා
 සුසුම් වැල් හෙලුනා..
දෙවොල තුල වැඩ හුන් පතිනි පිලිමෙත් කදුලු බිදු  හෙලුනා..!

Friday 14 January 2022

මිතුරිය සේ


යන තැන රැකවල් දී
සෙවනැල්ල සේ රැදී
නිරතුරුව සිටින නුඹ

මිතුරු කැළ සමග මා
කල්ළි වූ විට
අවවාද දී පෙමින්

සීමා මායිම් දමන විට
විටක සිතුනා වදයක්ද
නුඹ මට

දුක සැපට ලගින් හිද
වරදෙදී අත් නොහැර
කිසිදු සිත් රිදීම් නැති
වදනකින් පවා සැනසුම්
දෙමින් ඔබ
කලණ මිතුරියක වූ සැටි
වැටහුනේ පමා වී සිතට

ආදරේ උන්මාදය


අතැගිල්ල අල්ලමින් 
සුරගන බස් තෙපලමින්
මවා පෑ මිරිගුවට
රැවටුනා නොසිතා ඉදිරියම

තරුණ උන්මාදයෙන්
දුන් නුඹේ ආලයට
මහමෙරක් සේ සිතා
කලා මන් ප්‍රේමයද

කලකදී වැහැරෙනා ශරීරය
මෙන් ඔබේ ප්‍රේමයද
වෙනස් වන බව සිතට
දැනෙන විට ප්‍රමාදය

මට මැවූ ආලයම
තිලිණ කර ඇය වෙතට
හැර දමා යන විටදි
තනි වුණා සදහටම...

Thursday 13 January 2022

ජීවිතය


සුසුමක වේගයෙන්
යයි ගලා කාලය
දුක සතුට මුසු වී
රහසින්ම

පියඹා විත් සිත් අරණට
රහසින්ම ගමන් කලා වුන්
තව තවත් නොනවතී
ගමනේය තව තවත්

ඉතින් අත් හල යුතුද අප
ජීවිතය
හිස කෙලින් කර ගත යුතු
ගමනක්‍ ය මේ
ජීවිතය

පසුතැවෙන්නේ කුමට
නුඹද
රැය පහන් කර ලන්න
අලුත් ලොව දැක දන්න!

සොදුර,



ප්‍රේමයේ අභිමන්
විදින්නට
සිතුවෙ මා නම් 
ඒ දිනේ සිට

ඔබගෙ ලෝකය 
එළිය කරනට
පැතුවෙ මා නම් 
ඒ දිනේ සිට

නමුදු සොදුරේ
අපේ ප්‍රේමය
වියැකෙමින් යයි 
මේ ලෙසින් අද

ඉතින් මම දැන්
කුමක් කරමිද
සුභ පැතුම් හැර
ඔබේ නව ලොව හට

පොඩි දුව කාව්‍ය විචාරය





අහිමි තරුණියගේ කතාවද?





Wednesday 12 January 2022

සල්ලි


ඇති උන් විදිති
නැති උන් විදවති
පුදුමයකි මට නම්
මේ සල්ලි

මනාපයි සල්ලිත් 
සුදු අත් වලට
පුරවගෙන ඉන්නා
මුදු වළලු

නොබල ඉන්නට 
කරගැට දූවිලි අත් දෙසම
සල්ලි උඹ ඒ තරම් 
නම්බුකාරයිද?




කොරෝනාව

"අද දින සිට
සතියක් සංචරන සීමා
මුලු රටටම"
නිවුස් වලට කීවේ
එහෙම

එතකොටම අහුණා
මහ හඩින් ඝෝශාවක්
හැරිලා බලන විට එදෙසට
ලොකු ගෙදර නෝනලා
සතුට සමරනු බව
දැක්කෙ මම එතකොට

"ලොකු ගෙදර නෝනලා
ගෙදර ඉන්නට
ඒ තරම් සතුටුද"
මටම හිතුණේ එහෙම

හෙට කුලියට නොගියොතින් මම
කන්න නම් නෑ සතියක් අපිට
හෙට කුලියට ගියෝතින් මම
එයිද මගෙ පස්සෙන් කොරෝනාවත්

Sunday 9 January 2022

අහඹුවක්ද නුඹ


නොසිතූ විලසක
හමුවුණු නුඹෙ දෑස
ඇයිද අමතක කරලන්නට
බැරිව ඇත්තේ මේ ලෙසින්?

මා ගොතන පද වල
අයිතිය නුඹට බව
කෙලෙස කියන්නද මා
ආයෙ අපි හමු නොවන කොට

රාත්‍රිය මෙතරම් දිගු බව
වැටහුණේ මට නුඹ දුටු දින
අහඹුවක ඇති මේ රස
නොදුටුවා නම් ඔබ
තවත් නොදනී මම!

අප්පෙක් නැති මං


විමලෙගෙ තාත්තා
අදත් ආවා ඉස්කෝලෙට
උගෙ විස්තර අහන්ට
ඌත් හරි උජාරුවෙන්
මට පේන්න හිනා වුණේ

මාත් හරි ආසයි තාත්තව
ඉස්කෝලෙ උන්ට පෙන්නන්ට
ඒත් මට කොහෙන්ද 
දැකලවත් නැති තාත්තෙක්!

අඳුරු සිත්තම්

පාටක් මොකටද නේක වර්ණයෙන් කදුළු වලින් ගෑ පාට තියනකොට.. ඇන්ද සිතුවම් ගොඩක්ම එහෙමයි.. සමනල් පාටක් තිබුනෙම නෑ එහි.. අඳුරුයි ගුප්තයි මේවත් සිතුවම...